You are currently viewing ඩොක්ටර්ගේ ඩයරියෙන්… (The Days of the Doctor)

ඩොක්ටර්ගේ ඩයරියෙන්… (The Days of the Doctor)

Tiny actions change the world…

මේ වාක්‍ය දැන් දවස් ගාණක ඉඳන් මගේ ඔළුවේ හොල්මන් කරන්න පටන් ගත්තේ Doctor Who Season 11 Episode 3 නිසා.

3 වෙනි එපියෙ තියෙන්නේ කළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු කාන්තාවක් වෙච්ච රෝසා පාර්ක්ස් ගැන. 👩🏾‍🦳

කවුද මේ රෝසා පාර්ක්ස්?

Mrs. Rosa Parks with Mr. Martin Luther King Jr.

ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ නිදහස වෙනුවෙන් කතා කරපු ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ජීවත් වෙච්ච කාන්තාවක්.

1955 අවුරුද්ද 📅

දැන් වගේම ඒ කාලයේදිත් ඇමරිකාවේ සුදු මිනිස්සුන්ට කළු හමක් තියෙන මිනිස්සු ගැන තිබ්බේ මහා අපුල බවක් 😕 දැනට වඩා ඒ කාලේ ඔය සිද්දිය හෙනම දරුණුයි. කළු හම තියෙන අයව පහත්ම විදියට සැලකුවේ. සමහර කඩවල් ගණුදෙනුකාරයා කළු නම් සේවය සලසන්න උනත් අකමැති වෙනවා. මොනා හරි වැරැද්දකට සුදු කෙනෙක් කළු හම තියෙන කෙනෙක් පිට වැරැද්ද පැටෙව්වොත් අනිවා පොර වැරැද්දක් නොකලත් පොලිස්සියෙන් සලකන්නෙ නියම වැරදිකාරයා කල්ලා විදියට සලකලා 😩  ඒ අවුරුද්දෙ අගෝස්තු වල තමා මිසිසිපි ප්‍රන්තයේ සුදු හමක් තිබ්බ බ්‍රයන්ට් පවුලේ සිල්ලර බඩු සාප්පුවේදි බ්‍රයන්ට් නෝනාට කල විහිළුවක් නිසා අවුරුදු 14ක එමෙට් ටිල්ව දරුණු විදියට මරලා දාන්නේ. ඒ අපරාදය කල සුදු හම ඇත්තොන්ට හරි හැටි දඬුවම් ලැබෙන්නෙත් නෑ 😬

ඝාතනයට ලක්වූ Emmett Till
Emmett Till ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ John W. Milam (Left) සහ Roy Bryant (Center), Roy Bryantගේ බිරිඳ Carolyn

බස් වල ගමන් ගනිද්දි මුල් තැන දුන්නේ සුදු හමක් තිබ්බ අයට 🚌👨🏼‍💼 ඉස්සරහ දොරින් ඇතුළු වෙන්න පුළුවන් උනේ ඒ අයට. පිටිපස්සෙ දොරින් කළු හම ඇති අය. ඉස්සරහා සීට් පේලි ගාණක් සුදු අයට මැද පේලි සුදු/අඳුරු/කළු ඕනිම අයෙක්ට (Colored) පිටිම පස්සෙ කළු හම තිබ්බ අය 🧑🏿 හදිස්සියෙ සීට් මදි වෙලා කළු හම තියෙන කෙනෙක් මැද පේලිවල වාඩි වෙලා හිටියොත් ඒ අය සුදු අයට සීට් එක දීලා පිටිපස්සට යන්න ඕන. එහෙම නොදුන්නොත් වෙන්නෙ පොලිස්සි යන්න 🚓

මේ කියන දවසේ ඒ කියන්නේ 1955 නොවැම්බර් 30 ඇලබාමා ප්‍රාන්තය්  මොන්ට්ගොමරි වලදි රෝසා පාර්ක්ස් වැඩ අහවර කරලා ගෙදර යන්න බස් එකට නගින්නේ. සෙනඟ පිරුනට පස්සෙ පුරුදු විදියට සුදු අයට ඉඩදෙන්න කියලා ඩ්‍රයිවර් කිව්වම වාඩි වෙලා හිටිය අනිත් කළු අය නැගිට්ටත් රෝසා නෙමෙයි පොඩ්ඩක්වත් හෙල්ලුනේ  ඇය තමන් වාඩි වෙලා හිටිය තැන එහෙම්මම හිටියා. දරුණු විදියේ වර්ගවාදියෙක් වෙච්ච බස් ඩ්‍රයිවර් පොලිස්සියට කතා කරලා රෝසා පාර්ක්ස්ව අත් අඩංගුවට ගන්න කිව්වා. වරද තමා සීට් එක සුදු ජාතිකයන්ට නොදීම 😑

බස් රථයේ ආසන සැලස්ම

මේ අසාදාරණය හමුවේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න ගන්නවා. බස් වර්ජනය කරන්න ගන්නවා. කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරපු මාටින් ලූතර් කින්ග්ගේ සටන වෙනස්ම මගකට යොමුවෙන්නේ මේ සිදුවීමත් එක්ක 😃 මේ වර්ගවාදයට විරුද්දව වැඩ කරන්නත් කතා කරන්නත් පටන් ගන්නවා.

මේකම තමා Doctor Who එපියෙත් වෙන්නේ. ඒත් වෙනස්.

තමන්ගේ සගයන් එක්ක අහම්බයකින් වගේ 1955 අවුරුද්දේ මොන්ඩ්ගෝමරි වලට එන Doctorට 79වන සියවසේ ජීවත් වෙච්ච ඝාතකයෙකුත් කාලය හරහා ඒ අවුරුද්දට ආපු බව දැනගන්නවා 🔙 තවදුරටත් මිනිසුන් මරන්නට බැරිවෙන විදියට ක්‍රියාව අක්‍රීය කරලා තිබ්බ ඔහුට උවමනා උනේ අතීතය වෙනස් කරලා රෝසා පාර්ක්ස්ගේ මේ පුංචි ක්‍රියාව නවත්වන්න. බස් එකේ ඩ්‍රයිවර්ට රෝසාට නැගිටලා සීට් එක දෙන්න කියලා කියන්නෙ නැතිවෙන  තැනට වැඩ සිද්ද කරන්න 🚫 රෝසාට ඒක තවත් සාමාන්‍ය දවසක් කරන්න. නමුත් Doctor සහ සගයන්ට සිද්ද වෙන්නේ අනාගතයට තදින්ම බලපාපු ඒ අතීත සිදුවීම වෙනස් නොවෙන තැනට වැඩ සිද්ද කරන්න. රෝසා පාර්ක්ස්ට සෙනඟ වැඩි අවස්ථාවෙදි තමන්ගේ සීට් එකෙන් නොනැගිටීමේ අදිෂ්ටානය ඒ විදියටම වෙන්න දීලා පොලිස්සිය විසින් අත් අඩංගුවට පත් වෙන්න දෙන්න. අන්තිමේ ඔවුනටත් සිද්ද වුනේ අතීතයේ කොටසක් බවට පත් වෙලා බස් රථයේ මගීන් වෙන්න. බේරගන්න හැකියාව තිබුනත් ඔවුන්ට අතීතය වෙනස් කිරීමේ අයිතිය අහිමි වෙලා තිබ්බේ 😥

The Doctor met Rosa Parks

එක අවස්ථාවකදී මේ ඝාතකයා Doctorට මෙහෙම කියනවා.

“හැමදේම වැරදෙන්න පටන් ගත්තේ මෙතනින්… මම සිරගතව හිටිය කාලයෙදී මට හිතන්න ගොඩක් වෙලාව තිබ්බා. එතකොට මට තේරුම් ගියා කුඩා ක්‍රියාවන් ලෝකය වෙනස් කරන බව.” 🌎

මේ වෙද්දි Doctorගේ සගයන් විදියට හිටියේ ග්‍රැහැම් කියන සුදු හමක් තිබ්බ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් 🧓🏼, ඔහුගේ සුළු මුණුබුරා වෙච්ච අප්‍රිකානු සම්භවයක් ඇති රයන් 👦🏿 සහ පාකිස්ථානු සම්භවයක් ඇති යස්මින් 👧🏾 අහම්බයෙන් මේ ගමන සිද්ද වෙච්ච එකෙන් ඔවුනටත් 1955 අවුරුද්දේ මොන්ට්ගෝමරි වලදි රයන්ටත් යස්මින්ටත් අද්දකින්න ලැබුණ දේවල් වලින්  කළු සුදු වර්ගවාදය හොඳින්ම තේරුම් ගියා. රයන්ට සහ යස්මින්ට සුදු මිනිසුන්ගෙන් වටවෙච්ච දේශයක නිදහසේ ඉන්න, අධ්‍යාපනය ලබන්න වරම් ලැබුනේ රෝසා පාර්ක්ස්ගේ සුළු ක්‍රියාව ලෝකයට තදින්ම බලපෑව නිසා කියලා තේරුම් ගන්න පුළුවන් උනා.

Doctor, Yazmin, Graham and Ryan

තවමත් අහංකාරායෙන් ඔළුව උදුම්මවාගත්ත සුදු මිනිස්සු හමුවේ මේ වර්ගවාදය සහමුලින්ම අයින් වෙලා ගිහින් නැහැ 🙁 පහුගිය කාලේ ලෝකයම කතා වෙච්ච #BlackLivesMatter සිද්දිය වගේම දැන් අළුත්ම #AsianLivesMatter රැල්ලත් එක්ක ඔප්පු වෙලා පේනවා. ඒත් ඉස්සරට වඩා මේ පිළිඹඳව කතා කරන්න වගේම පියවර ගන්නත් මිනිස්සු පෙලඹිලා තියෙනවා. හඬක් නැති අයට හඬක් දෙන්නත් සටන් කරන්න බැරි අයට සහය වෙන්නත් මිනිස්සු එකමුතු වෙලා ඉන්නවා 😊 රෝසා පාර්ක්ස් නොහිටියානම් ලෝකය පුරා ජීවත් වෙච්ච කළු හම ඇති අයට වගේම අඳුරු හමක් ඇති අපි වගේ අයටත් සුදු මිනිසුන්ගෙන් වටවෙච්ච/ පාලනය වෙන ලෝකයක් තුල මොන විදියේ තාඩන පීඩන වලට ලක් වෙන්න වෙයිද කියන්න දන්නේ නෑ. දියුණුයි කියලා පිලිගත්ත සමාජයක නොදියුණු සිතුවිලි වලින් පිරිච්ච මිනිස්සුන්ගෙ ක්‍රියා  වලින් හෙම්බත් වෙන්නයි වෙන්නෙ 🤐

Leave a Reply