You are currently viewing 𝔗𝔥𝔢 𝔉𝔞𝔱𝔥𝔢𝔯

𝔗𝔥𝔢 𝔉𝔞𝔱𝔥𝔢𝔯

තාත්තා💕🤗, අපේ ජීවිතයේ අපිට ආදරය රැකවරණය කියා දුන්නු ලබා දුන්නු දෙන්නාගෙන් කෙනෙක්. ඉතින් මේ විදියේ තවත් තාත්තා කෙනෙක් ගේ මහලු අවදියේ ගතවන කතාවක් තමයි අද කියන්න යන්නේ.
The Father❤️✨

The Father කියන්නේ Florian Zeller නම් ප්‍රංශ ජාතික අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරන ලද 93 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන 6කට නිර්දේශ වෙලා ඒ අතුරින් ප්‍රධාන සම්මාන දෙකක් ජයග්‍රහණය කරපු හැඟිම්වලට නවමු පණක් දුන්න චිත්‍රපටයක්.✊🏻 වසරේ හොඳම නළුවා සහ හොඳම අනුවර්තිත තිර රචනය ආදී සම්මාන හිමිකරගත්ත මේ චිත්‍රපටය තාමත් බලලා නැත්නම් දැන්ම ගිහිල්ලා බලල එන්න 💯, මේ කතාව අපි කියන්න කලින්. මුලින්ම කියන්න ඕන, අපේ මේ ලිපියෙන් කරන්නේ චිත්‍රපටයේ යම් කෝණයකින් විශ්ලේෂණයක් කරන එක. ඒක නිසා මේ ලිපිය පුරාවට චිත්‍රපටයේ අඩංගු දර්ශන මාලා ගැන කතා වෙනවා.

Spoilers ahead! ⚠️❌

අපේ මේ චිත්‍රපටයේ කතානායක ඒ කිවුවේ ඇන්තනී විදියට රංගනයෙන් දායක වෙන්නේ Sir Anthony Hopkings විසින්. අපි අමුතුවෙන් මේ අසහාය රංගධරයා ගැන කතා කරන්න ඕන නෑනේ🥰. The Father තුල තිබූ අසහාය රංගනය වෙනුවෙන් තමයි ඔහුට හොඳම රංගන ශිල්පියාට හිමි ඇකඩමි සම්මානය ලැබෙන්නේ🏆. ඉතින් පටන්ගනිමු අපි The Father කියවීම.

මේ කතාව පටන්ගන්න කලින් මට අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා.
ඔයා මේ චිත්‍රපටය නරඹලා තරමක් ව්‍යාකූල වුනාද?
කවුද ඇත්තටම පෝල් කියන්නේ?
කවුද මේ ලූසි?
හැම දර්ශනයේම ඇන්තනීගේ ගෙදර වෙනස් වෙනවද?
ඇයි ඇන්තනීට හැමතිස්සේම එයාගේ අත් ඔරලෝසුව ඕන වුනේ?
ජීවත් වෙන මහල් නිවාසය ඇත්තටම අයිති ඇන්තනීට ද?
ඇයි ඈන් එයාගේ තාත්තාව කොට්ටෙකින් තද කරලා හුස්ම හිර කරන්න හැදුවේ?
ඇයි පුද්ගලයෙක් ඇන්තනීගේ කම්මුලට ගැහුවේ?
the leaves and the tree කතාවේ තේරුම මොකක්ද?
මොකක්ද මේ චිත්‍රපටයෙන් අපිට කියන්න උත්සාහ කලේ?🤯
ඔව් මේ දේවල්වලට උදව්වක් කරන්න තමයි, මේ ලිපියෙන් අපි සැරසෙන්නේ.


මුලින්ම කියන්න ඕන පෞද්ගලිකව කැමතිම චිත්‍රපටයක් මේක. 2020 ආපු චිත්‍රපට අතලොස්ස අතරින් තියෙන සුපිරිම චිත්‍රපටයක්. හද කම්පාකරවන සිත්ගන්නාසුළු නිර්මාණයක්. එක්තරා ආකාරයක මාස්ටර්පීස් එකක්✌🏻. අපි උඩ තියෙන ප්‍රශ්නවලටත් පිලිතුරු සොයමින් මේ චිත්‍රපටය පිලිබඳ කියවීමක යෙදෙමු.


චිත්‍රපටය පුරාවටම සංකේතාත්මක යොදාගැනීම් බොහොමයක් අන්තර්ගතව තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය කියවීමේ පහසුව වෙනුවෙන් තේමාවන් තුනකට බෙදා මුළු කතාවම වෙන් කරගනිමු.

  1. කාලය පිලිබද සංජානනය ⏳

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඇන්තනී කියන්නේ 80 හැවිරිදි ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. ඩිමෙන්ශියා කියන්නේ එදිනෙදා ජීවිතයට බාධා ඇතිකිරීමට තරම් දරුණු තත්වයක් ඇතිකරන මතකය නැති වීම, භාශා භාවිතයේ ගැටළු, ගැටළු විසඳීම අපහසු වීම හා වෙනත් චින්තන හැකියාවන් නැති වීම ආදී මානසික තත්වවලට යොදන පොදු යෙදුමක්. ඇන්තනී මේ හැම ව්‍යාකූලතාවකින්ම පෙලෙනවා. චිත්‍රපටය නරඹන අපිට මේ ඇන්තනීගේ බිඳුණු හා අස්ථාවර මනස තුලින් ලෝකය නරඹන්නට සලස්වනවා. චිත්‍රපටය තුළ නරඹන්නන් හැටියට අපිටත් ඩිමෙන්ශියා තියෙනවා. ඇන්තනී ඉන්න වර්තමානය අපිට විශ්වාස කරන්න බෑ. කාලය ඉදිරියටත් පසුපසටත් දෙපසටම ගමන් කිරීම නිසා කාලානුක්‍රමික නොවෙන අයුරින් සමහර දර්ශන නැවත නැවතත් සිදුවෙන අයුරු පෙන්වනවා. අපි දැකපු අපි අහපු දර්ශන නැවත නැවතත් සුළු වාචික වෙනස්වීම හා දෘෂ්‍ය වෙනස්කම් සිදු වී බලන්නට සැලැස්වෙනවා. චරිතවල නම් වෙනස්කරමින්, පෞරුෂයන් වෙනස් කරමින්, පාට, රූපරාමු, නිවසේ භාණ්ඩ ආදී සියල්ලක්ම සෑම දර්ශන වාරයක් තුළම වෙනස් වෙනවා. මෙතුළින් ඇන්තනීගේ ජීව්තයේ පසුගිය අවුරුදු කිහිපය පුරාවට සිදුවූ විවිධ සිහිපත් කිරීම් නරඹන්නන්ට තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සියල්ලෙන්ම අපිට ඇත්නනීගේ කෝණයෙන් ලෝකය බලන්න හැකි වෙනවා. ඔහුගේ ව්‍යාකූලත්වය හා කලකිරීම සෑම දර්ශනයකම පෙන්වනවා. මේ සියල්ල ආත්මීය දර්ශනයන්(Subjective Scenes). ඒ වගේම වාස්තවික දර්ශනයන්(Objective Scenes) ද මේ තුළ අඩංගු වෙනවා. ඇන්තනී නොමැති සෑම දර්ශනයක්ම පාහේ වඩා අවංක හා සරල දර්ශනයන්. ඒවා තේරුම ගැනීමට පහසුයි. නමුත් මේ වාස්තවික දර්ශන බොහොම සුළු ප්‍රමාණයක් පමණයි චිත්‍රපටය පුරාම අන්තර්ගත වෙන්නේ. ඒවගේම ඒ දර්ශන අතර කාල පරතරය ඉතා අධිකයි. මේ සියල්ල ඇන්තනීගේ ජීවිතයේ යථාර්ථයට පැමිණෙන්න මාර්ගයක් වෙනවා. මේ දර්ශනවලින් Olivia Colman තමයි ඇත්තම ඈන් කියලත්, Rufus Sewell තමයි ඇත්තම පෝල් කියලත් අපිට පෙනෙන්නට සලස්වනවා. ඇන්තනීට, ලෝරාට කලින් රැකබලාගන්නන් කිහිපදෙනෙක් සිටියා. ඒ වගේම ඇන්තනී සිටින මහල් නිවාසයේ අයිතිය ඔහුට නොව ඔහුගේ දියණිය වන ඈන්ට අයිති බවත් මේ දර්ශනයන් මඟින් තේරුම් කරවනවා. ඈන් රැකියාවේ නිරත වනවිට පමණයි ඇන්තනීගෙන් ඈත් වෙලා ඉන්නෙ කියලා කතාව පුරාවටම පෙන්නුම් කරවන්න උත්සාහ දරලා තිබෙනවා. ඇත්තටම කතාව පුරාවටම ඇන්තනීට ඔහුගේ අත් ඔරලෝසුව නැතිව ඉන්න බෑ. ඔහු සෑමවිටම ඒක පැළඳගෙන ඉන්නවා , නැත්නම් ඒක හොයන්න උත්සාහ කරනවා හෝ කවුරුහරි ඒක ගත්තා කියලා චෝදනා කරනවා. අත් ඔරලෝසුව තුලින් අපිට සංකේතවත් කරනවා ඇන්තනී කාලය පිලිබද පැහැදිලි අවබෝධයක් ගන්න කොච්චර උත්සාහ කරනවද කියලා. යථාර්තයේදී ඇන්තනීගේ කාලය පිළිබඳ සංජානනය වියැකී යනවා. ඔහු එයින් සුවවෙනවා නමුත් නැවත නැවතත් ඒක නැති කරගෙන අන් අය ඒ සංජානනය නැති කරවනවා කියල චෝදනා කරනවා. අත් ඔරලෝසුවට සිදුකරන්නේත් මෙවැනි දෙයක්ම තමයි. තවත් මේ වගේ ගැඹුරු විදියට අපිට දනවන්න හදන දර්ශන පෙළක් තමයි ඇන්තනීගේ සීඩී ප්ලේයරය තුලින් ගීත වාදනය වෙන දර්ශනය. ඇන්තනී නිදහසේ ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙනකොට එක පාරටම ප්ලේයර් එක තැනින් තැන මඟහරිනවා. එතුලින් කියවෙන්නෙ ඇන්තනීගේ ඔහු දන්න සුවපහසු රටාව හා රිද්මය හදිසියේ නැතිවෙනවා කියලා. දැන් ඔහුගේ ජීවිතයත් තමා වටා ඉන්න කිසිම කෙනෙකුට හොඳ නොවන අයුරින් සමහර තැන් මඟ හැරෙනවා හෝ නැවත නැවතත් සිදු වෙනවා.

  1. දෙමාපියන්ගේ අනුමැතිය 👫🏻

මම මේක නරඹනවිට හිතුවා ඇයි ඇත්තටම අපේ දෙමාපියන් අපි ගැන හිතන විදිය ගැන අපි මෙතරම්ම සැලකිලිමත් වෙන්නේ කියලා. අපි වැඩිහිටියන් වුනාමත් ඒ දේ එහෙමමයි. ඒ දේ හරිම අමුතුයි.

“තරුණ වැඩිහිටියන් ලෙස, අපි අපේ තීරණ ගන්නෙමු, ඒත් අප දෙගිඩියාවෙන් යුක්තව දෙමාපියන්ගේ කැමැත්ත ලැබෙන තෙක් රැඳී සිටින්නෙමු, කිමෙක්ද යත් අපට අනුමැතිය ලැබීම යනු අපේ අවශ්‍යතා ලැබීමයි, අපගේ අවශ්‍යතා ලැබීම යනු අපගේ පැවැත්ම තහවුරු වන බවයි”

Sara Schapiro-Halberstam

අපි වැඩිහිටියන් වුනත් අපිට කැමති දේ ලබාගන්න පුලුවන්කම තිබුනත් අපේ ප්‍රාථමික මොලය කවදාවත් වැඩෙන්නෙ නෑ. මේ දෙයින් අපිට අපි ගැන වගේම ඈන් ගැනත් තේරුම් යනවා. ඈන් ගොඩක් ගැඹුරින් හිතනවා ඇයගේ තාත්තා ඇය පිළිබඳව කියන දේවල් ගැන. ඇය ලස්සනයි කියල කියනකොට ඇය ආඩම්බර වෙනවා ඒ වගේම ඈන්ට “Anne, Thank you for everything” ඇන්තනී විසින් කියද්දී ඇයට හැඟීම්වල උදම් රලක් දැනෙනවා. අවාසනාවන්ත සිදුවීම වෙන්නෙ ඇන්තනී ළඟ ඔහුගේ දුව ඈන් ගැන ගොඩක් හිත්‍ රිදවන දේවල් තියෙනවා කියන්න. ඔහු ගොඩක් වෙලාවට ඈන් කෙරෙහි සතුරු විදියට බලනවා, මොකද ඇය තුළින් ඇන්තනී තමාගේ බිරිඳව දකින නිසා. ඇන්තනී හිතනවා ඈන් ඔහුගෙන් නිවස උදුරාගන්න හදනවා කියලා නමුත් ඒක ඔහුගේ නෙමෙයි. ඒක ඈන් ගේ. ඔහු හිතනවා ඈන් ඔහුගෙන් වටිනා දේවල් ලබාගන්න හදනව කියලා. ඔහු ගොඩක් වෙලාවට කියනවා ඈන් කොච්චර මෝඩ. නොදැනුවත්, අමතක වෙන කෙනෙක්ද කියලා වගේම ඇයගේ සහෝදරිය මෙන් තමාට නොසලකන බවත් කියාසිටිනවා. ඇන්තනීගේ අනෙක් දියණිය වන ලුසී හදිසි අනතුරකින් මියයනවා. ඒත් ඇන්තනී හිතනවා ඇය තවමත් ජීවත් වෙනව කියලා, එසේම ඇයට තමන්ව බලන්න එන්න බැරි වගත් හිතාගෙන ඉන්නවා. ඔහු හැමදාම කියනවා ලුසී තමයි එයාගේ කැමතිම දරුවා කියලා. මේ දෙයින් තමයි චිත්‍රපටය පුරාම එන වඩාත්ම කම්පනකාරී දර්ශනයට පැමිණෙන්නේ. ඒ තමයි හුස්ම හිරකරවන දර්ශනය. මම හිතනවා මෙයින් දේවල් දෙකක් සංකේතවත් කරනවා කියල. පළමු ආකාරය තමයි මේක ඇන්තනීගෙ බියකරු සිහිනයක් යන්න. ඇන්තනී හිතනවා ඇයගේ දුව හැමදෙයක්ම ඔහුගෙන් උදුරගන්න හදනවා කියලා. තවත් ආකාරයකින් බැලුවොත් මේක තමයි ඈන්ගේ ඔලුව පුරා දුවන බොහොම බියකරු, අඳුරුතම සිතුවිල්ල. තම පියාගේ නොවෙනස් වන මානසික තත්වය වගේම තමන්ගේ වෙහෙස කාරී බව හා අනුමත නොකිරීම් අවසන් කිරීමක් පෙන්නුම් කරනව කියලා. මම පෞද්ගලිකව හිතනවා මෙයින් සංකේතවත් කලේ මම දෙවෙනියට සඳහන් කරපු ඈන්ගේ මනස මත ඇඳෙන දේ කියලා. ඔයාලා මේ දර්ශනය ගැන හිතන ආකාරය ගැනත් මම දැනගනන්න කැමතියි. ඇන්තනී තමාගේ ජීවිතය පුරාම අනිත් අය කෙරෙහි තිබ්බ හැඟීම් ඈන්ගේ කරමතින් යවන්න උත්සාහ දරනවා ඒ වගේම ඈන් හිතනවා මේ හැඟීම් තුලින් ඇන්තනී තමන්ගේ ජීවිතය පුරාවටම දැණුනු වඩාත්ම අවංකම හැඟීම් මේ අයුරින් පිටකරනවා කියලා. ඈන් තමන්ට පුලුවන් උපරිමයෙන් තමා ළඟම තබාගෙන තමාගේ තාත්තා ව හොද කරන්න උත්සාහයක යෙදෙනවා, මොකද ඇය ඔහුට ආදරය කරන නිසාම පමණක් නෙමෙයි. ඒ ඔහුගේ අනුමැතිය සෑමවිටම බලාපොරොත්තු වන නිසාත්.

  1. ආදරයේ ප්‍රත්‍යස්ථතික ස්වාභාවය 💕

මේ චිත්‍රපටය පුරාවටම ඈන් හා ඇන්තනී දෙදෙනාම දුෂ්කරතා ලෝකයකට මුහුණ දෙනවා. ඔවුන් දෙදෙනාම වෙනස් ආකාරවලින් විවිධ දුශ්කරතා වලට මුහුණ දෙනවා. ඈන් ඇන්තනී දෙදෙනාම මේ බාධක මතින් තමන්ගේ ඉදිරි ගමන යාමට උත්සාහ දරනවා කිමද යත් දෙදෙනා කෙරෙහි තිබෙන අසීමාන්තික ආදරය නිසා. ඈන්ගේ ප්‍රධාන බාධකය තමයි අවස්ථාවන් අහිමි වීම. ඈන්ගේ රැකියාවේ වැඩරාජකාරී අවසන් වුණ වහාම ඇයගේ ජීවිතය විඳින්න තිබෙන අවස්ථාවන් මඟහැරගෙන එන්නෙ ඉක්මණින් ම ඇන්තනී ව බලන්න. පෝල් හෙවත් තම සැමියා එක්ක තියෙන චාරිකා මඟහැරලා නිවසේ රැඳී ඉන්නවා තම පියා එක්ක සිටීමට අවශ්‍ය නිසා. ඇයගේ ජීවිතයේ මේ වැඩුණු සාමකාමී අවධිය වින්දනය කිරීම වෙනුවට ඇය පියා ගැන කරදර වෙනවා. ඔහු ගැන සොයා බලනවා. ඇය බලාපොරොත්තු රහිතව තම ජනෙල් වීදුරු තුළින් ජීවිතය විඳින ආදරණීය යුවලක් දෙස බලාගෙන ඉන්නවා. ඈන් ඉන්න ඕනෙත් ඒ අයුරින් තමයි. ඒත් ඈන් මානසිකව දරන්න පුලුවන් උපරිම බරක් දරාගෙන තමන්ගේ අවස්ථා මඟහැරගෙන තමාගේ පියාව බලාගන්නවා. තමාගේ පියාගේ මතකයේ ඉතිරි දේවල් පිලිබඳව සුසුම් හෙලමින් බලන් ඉන්නවා. ඈන් තමන්ගේ පියාගේ ටයි පටියක් අතගාමීන් තමාගේ පියා විදියට දන්න කාලයේ ඒ අතීතය දෙසට මාන බලනවා. මේ සියල්ල සංකේතාත්මකව නිරූපණය කරල තියෙන විදිය ඉතාමත්ම අනර්ඝයි. ඈන් ඇන්තනී ළඟින් ඉන්න ඕන නිසා යථාර්තයට මුහුණ නොදී ඇන්තනී සාත්තු නිවාසකට යන්න අවශ්‍යයි කියන දෙයට ඈන් කැමති වෙන්නේ නෑ. ඇන්තනීටත් වෙන කිසිම දෙයකට වඩා ඕන ඒ ගෙදර තුළ ජීවත් වීමයි. මේ දර්ශනය තුළම ඈන් විශාල දියමන්තියක් අතේ තියාගෙන ඉන්නවා. සාම්ප්‍රදායිකව මෙයින් සංකේතවත් කරන්නේ නොබිඳිය හැකි ආදරය හා සදාකාලික කැපවීමයි. ඇන්තනීගේ පැත්තෙන් ඔහුගේ ප්‍රධාන බාධකය තමයි පිරිහෙන මනස. ලුසී වර්තමානයේ නැති වුණත් ඇය හා ගත කරපු අන්තිම මොහොතවල් ගැන ඔහුට මතක් වෙනවා. ඒ වගේම ඔහු ලෝරාගෙ සිටීම ගැන සතුටු වෙනවා, මොකද ඇය ලුසීව නැවතත් මතක් කරවන නිසා. ඇන්තනී ඈන්ට චිත්‍රපටය පුරාම වාර කිහිපයකම තමන් සමඟ රැඳී සිටින්න කියලා බැගෑපත් වෙනවා. ඒ වගේම කලින් සඳහන් කලා සේම ඇය ඔහු වෙනුවෙන් කරපු සියල්ල වෙනුවන් තමාගේ ස්තූතිය කියා සිටිනවා. ඇන්තනී සමහර වෙලාවට ඈන්ගේ සැමියා වන පෝල් සමග වෛර කරනවා, කිමද යත් ඇන්තනීට හිතෙනවා පෝල් විසින් තමන්ගෙ දුවව තමන්ගෙන් උදුරගන්නව කියලා. ඇන්තනී හිතනවා තමාගේ අසම්පූර්ණ බව නිසා තමාට දඬුවම් ලැබෙනවා කියලා. ඒත් යථාර්තයේදි පෝල්ට අවශ්‍ය වෙන්නෙත් ඈන්ට හොඳම දේ ලබාදීමේ අභිප්‍රාය මිසක් ඇන්තනී ගැන වෛරයක් තබාගැනීම නෙමෙයි. චිත්‍රපටය තුළ වැදගත් සන්ධිස්ථානයක් තමයි, තමන්ගේ ජීවිතයේ ඉදිරියට යාමට සඳහා තමන් ආදරය කරන තමාගේ පියාගෙන් සමුගෙන ඈන් පිටත්වයන දර්ශනය. ඈන් සාත්තු නිවාසයෙන් පිටතට පැමිණෙන ස්ථානයේ නළලින් ඉහළ කොටස නොමැති මුහුණක පිළිමයක් තිබෙනවා. එයින් දෙදෙනාගේම මනස කඩාවැටෙන බව සංකේතවත් කරනවා. මෙමඟින් අපි චිත්‍රපටයේ ශීර්ෂය එහෙම නැත්නම් Title එකට අරමුණක් ගනිමු. තාත්තා තුළින් අපිට අනාරක්ෂිත බවක් දැනෙනකොට ආදරය, අපිට අවශය සහය, අපිට අවශ්‍ය රැකවරණය අපි බලාපොරොත්තු වෙනවා. ඒත් කනගාටුවට කරුණ නම් ඇන්තනීට ඔහුගේ අස්ථාවරභාවය නිසා මේ රැකවරණය හා ආදරය ඈන්ට ලබා දීමට නොහැකි වෙනවා. ඇන්තනී ඈන්ගේ කඳුලු පිහිදාන කොට එය තමයි තමා පියෙක් විදියට ඈන්ට ලබාදෙන ඇයට අවශ්‍යම දේ. මෙම දර්ශනයෙන් ඇන්තනී තේරුම් ගන්නවා ඇයට යන්න දෙන්න ඕන කියල. මෙතනදී තමයි ශාකපත්‍ර සහ ශාක සංකේතනය පැමිණෙන්නේ. මේ චිත්‍රපටයේ ශාකපත්‍ර තමයි ජීවන චක්‍රය වගේම නොවැලැක්විය හැකි නැති වීම සංකේතවත් කරන්නේ. එයින් අපිට කියන්න හදනවා අපි ආදරය කරන හැමදෙයක්ම අපිට සදාකල් තියාගන්න බැරි බව. කොච්චර හයිය ගස් වුනත් කවදා හෝ එහි කොල වැටෙනවා. ඒ ගස් බිමට වැටුණු දවසක ඒ හිස්තැන පුරවන්න පුලුවන් චරිත ඒ පොළොවේ ඉපදෙන්නේ නෑ. මෙතන තමයි මුළු චිත්‍රපටය පුරාවටම ඇන්තනීගේ වඩාත්ම බිදුණු මතක තත්වය ළඟා වෙන්නේ. එතනදී ඔහුට තමා කවුද කියලවත් මතක නැති වෙනවා. ඔහු මෙතනදි කියනව “I feel as I’m losing all my leaves” කියලා. ඇන්තනී මුළු චිත්‍රපටය පුරාම වඩාත්ම බියකරු වන දෙය තමයි අහිමිවීම.


මෙය චිත්‍රපටයේ මුල් කොටසක ඇන්තනී කියනවා “I’m losing all my things. Everyone’s just helping themselves. And if this goes on much longer, I’ll be stark naked. I won’t be able to tell what time it is.” කියලා. ඒ වගේම ඇන්තනීගේ nurse කැතරින් අන්තිම දර්ශනය තුල කියන දේ තුලින් චිත්‍රපටය පුරාම දිව ගිය යටිපෙල පණිවුඩය දෙනවා.

“It’s sunny outside. We have to go while it’s sunny. We have to take that chance. ‘Cause it never last long when the weather’s that good, does it?”

අපිට ලැබෙන කෙටි ජීවිත කාලය තුල වුවත් අවශ්‍ය මොහොතේදී වින්දනයට අවශ්‍ය දේ වින්දනය කරන්න ඕන. මොකද ඒ අවස්ථාව අපිට නැවතත් ළඟා නොවෙන නිසා. ලෝරා, කැතරින්, ඈන්, පෝල් හෝ ඇන්තනීට වුවත් මේ සත්‍යතාව පොදුයි. ඉතින් මෙසේ අපි The Father චිත්‍රපටය කියවීම අවසන් කරමු. චිත්‍රපටය තවමත් නරඹලා නැත්නම් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලා මම නිර්දේශ කරනවා.

“ජීවත් වීම යනු, ජීවිතය නඩත්තු කිරීම නොව සියලු ඉන්ද්‍රියයන් තුළින් සැබෑ ලෙස ලෝකය දැකීමයි”

මහගම සේකර

තවත් මෙවැනි රසවත් කියවීමකින් හමුවෙමු.
එතෙක් Stay safe. Stay hype.❤️✨

Leave a Reply