You are currently viewing ඉතිහාසයක ලේ මතක

ඉතිහාසයක ලේ මතක

සමූල ඝාතනය 🔴
වචනයේ ගැඹුර සොයා බැලිය යුතු නැත. වදන ඇසූ පමණින් එහි දරුණු ස්වරය අපගේ මුවගට දැනෙනවා. මෙය තේරුම් ගැනීමට අපට කවුරුන් හෝ ඉලක්කම් සසඳා ලබා දිය යුතු නැත. 👀

මිලියන 6කට අධික යුදෙව්වන් අමු අමුවේ මරා දැමූ ඒ ජර්මනියේ අමිහිරි මතක මිනිස් ඉතිහාසය පුරාම ලේවලින් තෙත් වුණු හැඟීම්බර අඳුරු සටහනක් තනා අවසන් ය. Steven Spielberg නම් අසහාය අධ්‍යක්ෂවරයා මෙම ඝාතන සංඛ්‍යාලේඛන පමණක්ම වූ සංහරයට, රූප හා මුහුණු ලෙස වෙනස් සංකේතනයකින් අපිට ලබා දෙන්නට ගත් උත්සාහයක ප්‍රතිඵල Schindler’s list නම් වූ කලා කෘතිය ලෙස අපට දැක බලා ගත හැක. මෙහි එන චරිත සියල්ලක්ම පාහේ අපට හදුනාගෙන කතා කළහැකි, අපට දැනෙන ලෙස නිපදවන්නට උත්සුක වී ඇත.

ඉතින් අපි අද මේ කතා කරන්නේ 1993 තිරගත වුණු Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කල වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය පවා හිමිකරගත් Schindler’s List චිත්‍රපටය ගැන.

මෙහි චරිත වල හැඟීම් හා පෞද්ගලික සම්බන්ධතා චිත්‍රපටය බලන අපිටත් හැඟෙන විදියට ලබා දෙන උපරිම උත්සාහයක් දරලා තියෙනවා. කතාව පුරාවට ගලන චරිතවල හැඟීම් අපේ හද පත්ලටම දැනෙන්න සලස්වලා තියෙනවා.
අධ්‍යක්ෂවරයෙකුට පුලුවන් අපිට ඉතිහාස පාඩමක් චිත්‍රපටයක් තුලින් පෙන්වන්න , ඒත් මිනිස් ඉතිහාසයේ කුරිරුතම සමූල ඝාතනය කලාත්මක ඇහැකින් පෙන්වන්න හැමෝටම බෑ. ව‍ර්තමානයේ අපි කතා කරන එකී මෙකී නොකී blockbuster රැසක් නිපදවූ අධ්‍යක්ෂවරයෙක් කොහොමද මිනිසුන්ගේ හැඟීම් වඩාත් හදවතට දැනෙන විදියට නිර්මාණය කලේ කියලා බලාගන්න පුලුවන්, Schindler’s List තුලින්.

චිත්‍රපටය පටන් ගන්නේ ඉටිපන්දමක් දැල්වෙන දර්ශනයකින්. Hebrew සංස්කෘතිය ආලෝකමත් කරනවා මෙයින් සංකේතවත් කරනවා. ක්‍රමයෙන් මේ ඉටිපන්දම අවුරුදු දහස් ගණනක සංස්කෘතිය රැගෙන නිවී යනවා. ඒ නිවීමත් සමඟ අවුරුදු දහස් ගණනක සංස්කෘතිය හා එහි වූ මිනිසුන් සුදු දුමාරයක් වී ඉහලට යනවා. ඒ සමඟම මුළු තිරය අළු පැහැ වෙනවා. එතනින් එහාට මුළු පරිච්ඡේදයම අඳුරෙන් වෙලෙනවා. ඒ අඳුර චිත්‍රපටය පුරාවටම උඩු දුවන්නේ black and white චිත්‍රපටයක් බවට පත් කරමින්. ඒත් එක්කම ඒ අඳුර සමූල ඝාතනයට රුකුල් හෙලනවා. අලෝකය නෑ. මම හිතනවා Spielberg මේ චිත්‍රපටය පුරාම black and white යොදා ගන්න හේතුව එයින් මිනිසුන්ගේ බලාපොරොත්තුවේ අහිමි වීම සංකේතවත් කරන්න වෙන්න ඇති කියලා. ඒ වගේම ඒ නිසා යම් සිඳුවීම් උලුප්පා පෙන්වන්නත් ලේසි විදියට සංකේතාත්මකව යොදාගන්න පුලුවන්. ඔහු සමහර දර්ශනවල පමණක් සමහර වර්ණ කැපී පෙන්වන්න මේ අඳුර යොදාගන්නවා. හොඳම උදාහරණය තමයි, රතු කබායක් ඇඳගත් ගැහැනු දැරිවිය. සමූලඝාතනය ගැන ඇමෙරිකාවේ මෙන්ම අන් රටවල ද උසස් මට්ටම්වල රාජ්‍ය නියෝජිතයන් දැනගෙන හිටියත් ඔවුන් මේ පිලිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති නිසා එය සංකේතවත් කරන්න මේ දර්ශනය යොදාගත්තා කියලා Spielberg වරක් පැහැදිලි කරනවා. මේ සිද්ධිය පුරාවටම රතු පැහැ කබාය ඇඳගත් දැරිවියක් පාටින් කැපී පෙන්වනවා. ඇය තම ජීවිතය බේරගන්න යොදන උත්සාහය තමයී ඒ දර්ශනය පුරාවට දිවෙන්නේ. මේක අපේ කතා නායකයා වන Oskar Schindler ඈත ඉඳන් බලාගෙන ඉන්නවා. Schindlerට ඇය තමයි මේ අඳුරු කුරිරු ලොව ජීවය හා අවිහිංසාව සංකේතවත් කරන්නේ.

Joseph Stalin වරක් කියනවා “A single death is a tragedy; a million deaths is a statistic.” ලෙස.🌚 මේක ඉතා දරුණු සීතල පණිවිඩයක්. Spielberg මේ පණිවිඩය රතු කබාය ඇඳගත් දැරිවි තුලින් ලබා දෙනවා.🧍🏻 මේ පුංචි දැරිවිය වර්ණ ගන්වා පෙන්වන්නේ අඳුරේ වුවද ජීවයේ පිරුණු බව. මේ චිත්‍රපටයේ කතා නායකයා වෙන Oskar Schindler ආරම්භයේ ආත්මාර්ථකාමී, ලාභය පසුපස පමණක් හබායන බලලෝභී පුද්‍ගලයෙක්. නමුත් ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ මේ පුංචි දැරිවිය. මේ පුංචි දැරිවියගේ මරණය Schindler ව දැඩිව වෙලා ගන්නවා. නාසීන්ට මේ දැරිවිය තවත් එක් ඉලක්කමක් විතරයි, ඒත් Schindlerට සහ අනෙක් යුදෙව්වන්ට බලාපොරොත්තුවේ හා අවිහිංසාවේ අවසානය ලෙස හදවතේ රැඳෙන්නේ.

Oskar Schindler අපිට මේ කතාව පුරා සැරිසරන්නට චිත්‍රපටය තුල ශරීරයක් වෙනවා. අපි මේ ශරීරය තුලින් මිනිස් හැඟීම් විවිරණය කරනවා. Oskar අපිට පාලමක් වෙනවා හදිසියේම මේ පීඩිත මිනිසුන්ගේ සම්බන්ධතා හා හැඟීම් කියවන්න. Spielberg අපිට බල කරනවා ඒ පිඩිත මිනිසුන්ව හඳුනා ගන්නට හා ඔවුන්ගේ ජීවිත දෙස එබී බලා ඔවුන් ගැන සොයා බලන්නට. ඔව්, ඒ යුදෙව්වන් ද අප මෙන්ම සාමාන්‍ය මිනිසුන්. Spielbergට අවශ්‍ය වෙනවා ඔවුන්ව ජීවත් කරවන්නට. ඔව් ඔහුට වගේම අපිටත් අවශ්‍ය ඒ දෙයමයි. නමුත් අපි පරක්කුයි. දැනටමත් ඒ ජීවිත අපෙන් සමු අරන්. එය අපිට දැනෙන්න සලස්වන විදිය ඉතා අනර්ඝයි. තවත් එක් දර්ශනයක් තිබෙනවා යුදෙව්වන් කඳවුරක් වෙත රැගෙන යන විට යුදෙව්වන් එක් දුම්රියකත්, ඔවුනගේ බඩු බාහිරාදිය තවත් දුම්රියකත් නංවන. ඒත් කවදාවත් මේ අනෙක් දුම්රිය යුදෙව්වන් කරා ළඟා වෙන්නෙ නෑ. මේ බඩු නාසින් විසින් කඳු ගසමින් වෙන් කරගන්නවා. යුදෙව්වන්ගේ වටිනා භාණ්ඩ ඔවුනට නැති වී යනවා සදහටම. ඒත් සමඟ ඔවුන්ගේ ජීවිතවලට ද මේ ඉරණම අත් වන බව මේ බඩු කඳු වශයෙන් ගොඩ ගසා තිබෙන දර්ශනකයෙන් අපට සංකේතවත් කරනවා.(සමූහ වශයෙන් ගොඩ ගැසූ මිනී ඔබට මතක් වෙනවා ඇති)

සංකේත වලට අමතරව සමාන්තර සංස්කරණ උපයෝගී කරගෙන සමාජ කුරිරුකම අපට පෙන්වනවා. චිත්‍රපටයේ මුලදීම දර්ශනයක් තියෙනවා, යුදෙව් ජාතික පවුලක් සුඛෝපභෝගී නිවසකින් කඳවුරක් වෙත යාමට බලකරන අවස්ථාව, Schindler ගේ උපන්දින සාදය, Amon Göth ගේ සාහසික පහරදීම් ආදී මේ සියලුම දර්ශන තුලින් සමාන්තරව අපට සාමයේ බලාපොරොත්තු හා සාහසිකත්වයේ වෙනස පෙන්නුම් කරනවා. චිත්‍රපටය පුරාම අපිට බලාපොරොත්තු සහගත දර්ශනයක් රැගෙන එනවාත් සමඟම ප්‍රචණ්ඩත්වය හා මරණය ඒ හා සමඟම දර්ශනයක කෙළවරක රැදී තිබෙනවා. මේ සමාන්තර සංස්කරණ දර්ශන තුළින් අපිට සතුට හා ශෝඛාන්තය එකම දර්ශනයක් තුල දනවන්නට සමත් වෙනවා. මේ තුළින් අපිට ගැඹුරු ව්‍යංග්‍යර්ථයක් ලබාදෙන්නටත් Spielberg කටයුතු කරනවා.

Oskar Schindler කියන්නේ වීරයෙක් නෙමෙයි. ඔහු බේබද්දෙක්, කාන්තා ලෝලියෙක්, con artist කෙනෙක්. ඔහුට කෑදරකමට වඩා වෙන කිසිවක් නැත. මෙසේ චිත්‍රපටය මුල අප හමුවට පැමිණි Oskar Schindler නතරවෙන්නේ තමා උපයාගත් සියල්ල ජීවිත වෙනුවෙන්ම පුදා බංකොලොත් වී තව එකදු හෝ ජීවිතයක් මරණින් ගලවා ගැනීමට උත්සාහ දරමින්. මෙහි එන Itzhak Stern කියන්නේ Schindler ගේ ගිණුම්කරු පමණක් නෙමෙයි, Schindlerගේ මොලය, විඤ්ඤාණය ලෙස ක්‍රියා කරන්නේද ඔහුයි. Stern කවදාවත් තත්වය අමාරු අතට හැරෙද්දී උත්සාහය අත හරින්නේ නෑ. ඒ වගේම මෙහි අනෙක් චරිත ද මේ මහා සමූල ඝාතනය වටා ගොඩනඟා ඇති ආකරය ඉතා අනර්ඝයි.

චිත්‍රපටයේ අවසාන දර්ශනය තමයි චිත්‍රපට දර්ශන කාලය පුරාවටම දෙවෙනියට අපට වර්ණවත්ව දැකගන්න පුලුවන් දර්ශනය. Schindler ගේ යුදෙව්වන් Schindler ට අදටත් උපහාර දක්වන්නට ඔහුගේ සොහොන වෙත පැමිණීම මෙමගින් පෙන්වනවා. Oskar Schindler තනිව වුවද මිනිස් ජීවිත දහසකට වඩා රැකගන්නවා. ඔබ මේ විත්‍රපටය තුල ජීවත් වන පැය 3 තුළින් දෙයක් ගන්නවා නම් ඒ දේ තමයි, තනි පුද්ගලයකුට වුවත් ශක්තිය තිබෙනවා නම් විශාල බලපෑමක් සමස්ත සමාජයට කලහැකි බවයි.

මිනිසාට ක්‍රමයෙන් දේවල් මතකයෙන් ගිලිහී යනවා, කාලය ගතවීමත් සමඟ මේ දෙයට මුහුණ දුන් පුද්ගලයන් ඉතිහාස මතක පොතේ පිටු අතරට වියැකී යන්න පුලුවන්. Schindler’s List කියන්නේ හොඳ මතක් කර දීමක් මේ සමාජ කුරිරුකම් වලට. 🙌🏻

Leave a Reply