You are currently viewing ඇෆ්ගනිස්තානයට මොකද වුණේ? – 𝙏𝙝𝙚 𝙆𝙞𝙩𝙚 𝙧𝙪𝙣𝙣𝙚𝙧 𝙢𝙤𝙫𝙞𝙚 𝙤𝙫𝙚𝙧𝙫𝙞𝙚𝙬

ඇෆ්ගනිස්තානයට මොකද වුණේ? – 𝙏𝙝𝙚 𝙆𝙞𝙩𝙚 𝙧𝙪𝙣𝙣𝙚𝙧 𝙢𝙤𝙫𝙞𝙚 𝙤𝙫𝙚𝙧𝙫𝙞𝙚𝙬

ඇෆ්ගනිස්තානයට මොකද වුණේ?

මේ දවස් වල ලෝකයේම කතා බහ වෙන, ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන රට තමයි, ඇෆ්ගනිස්තානය.🇦🇫

තලෙයිබාන්වරු, ඇමෙරිකානුවන්, බෝම්බ, ත්‍රස්තවාදය, ජාතීන් අතර අසමගිය මේ මොන දේ මතක් කරත් මේ දවස්වල අපේ ඔලුවට එන එකම රට ඇෆ්ගනිස්තානය. ඇත්තටම මේ රටට මොකක්ද උනේ? 🤷🏻‍♂️

මේක කියවන ගොඩක් දැකල ඇති 70 දශකයේ තමන්ගේ නිදහසේ පාරක මිනි ස්ක’ට් ඇඳගෙන ගමන් කරන කාන්තාවන් තිදෙනෙක් ඉන්න ඡායාරූපය. ඉතින් මෙහෙම නිදහසේ තමන්ගේ පාඩුවේ හිටපු රටකට මොකක්ද උනේ? 😕

අද කියන්න යන්නේ මේ රටේ ඉතිහාසය ගැන නම් නෙමෙයි. ඒත් ඒ පිළිබඳ යම් අදහසක් දැනගන්න පුලුවන් ෆිල්ම් එකක් ගැන. Kite runner කියන්නේ 2007 වර්ෂයේ තිරගත වුනු ෆිල්ම් එකක්. කාබුල් නගරයේ ඉපදිලා ඇමෙරිකාවේ ජීවත් වන ඛලීඩ් හුසේනි විසින් 2003 දී රචිත Kite runner කියන නවකතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ.

අතිශයින්ම සංවේදි කරුණු රැසක් එක්ක පැය දෙකක කාලයක් පුරාවට තියෙන මේ චිත්‍රපටය Marc Forster නම් අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන ලද නිර්මාණයක්.

සරුංගලයක් කොයි දිහාවේ, කොයි මොහොතේ කොහෙට යයිද කියලා පාලනය කරන්න පුලුවන් ඒ සරුංගලය යවන පුද්ගලයෙක් ට විතරයි. ඒ වගේම නූලෙන් ගිලිහුණ සරුංගලයක් යන දිශාව, ඒක වැටෙන තැන මුලින්ම තීරණය කරන්න කාටවත් බෑ. ඒක තීරණය කරන්නේ සුළඟ කියන සාධකය. 🍃

ඉතින් මේ ෆිල්ම් එක පුරාවට දිවෙන්නේ පශ්තුන් පවුලක ළමයෙකු සහ හසාරා ළමයෙකු අතර තිබෙන යාළුකමක කතාවක්🤗. ඒ මිත්‍රත්වය හා ඒ සබැඳියාව ගැන ෆිල්ම් එක බලලම තීරණය කරන්න. මම අද ඒ චිත්‍රපටයෙන් කියවෙන සාමාජයීය කරුණු ගැන ලියන්න හිතුවා.

මේ කතාව පටන් ගන්නේ 70 දශකයේ ඉඳන්. ඉතින් 70 දශකයේ ඇෆ්ගනිස්තානය කියන්නේ මේ ඔබ අද දකින රට නම් නෙමෙයි. මම මුලින්ම සඳහන් කලා වගේ ම නිදහසේ සාමකාමි ව ජීවත් වුණු සමාජයක් ඒ තුළ තිබුණා. අළු යට ගිනි හංගන්න අමාරුයි වගේම මේ සමාජය තුළින්ම විවිධ ඒ සංහිඳියාවේ බිඳීම් බිහි වෙමින් පැවතුණා💔. මේ ෆිල්ම් එකේම පෙන්වනවා රටේ බහුතර පිරිස වුණු පශ්තුන්වරුන් සුළුතරයක් වුනු හසාරාවරුන්ට සලකන ආකාරය. ඉතින් මේ ගිනි පතුරු අස්සෙම ඇෆ්ගනිස්තානයේ අඳුරු දවස් ආරම්භ වෙනවා.🥺

ඒ තමයි 1979 සෝවියට් ආක්‍රමණය. සෝවියට් සමූහාණ්ඩුව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරායින් පසුව එහි මිනිසුන් දුක්විඳින අයුරු, බෙඳීම් හටගන්න විදිය, ගහකොළ පවා කපලා දාලා කාන්තාර වගේ පරිසරයක් හදනවා කියල මේ සලරුව තුළින් හැඟීම්බරව ප්‍රකාශනය කරලා තියෙනවා.💔🥺

චිත්‍රපටයේ එක අවස්ථාවකදී රථයකින් පිරිසක් පාකිස්තානයට යන්න උත්සාහ කරද්දි සෝවියට් සෙබෙලෙක් ඒ සීමාවෙන් ඔවුනට යන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් රථයේ ඉන්න ඇෆ්ගන් කාන්තාවක් සමඟ සහවාසයේ යෙදෙන්න අවශ්‍ය බව කියා සිටිනවා😰. ඉතින් මෙතනදී කතාවේ කතානායකයා වන අමීර්ගේ පියා ඒ සොල්දාදුවගෙන් අහනවා ඔබට ලැජ්ජාවක් නැද්ද කියලා. එතනදී ඒ සෝවියට් සොල්දාදුවා දෙන උත්තරය තමයි යුද්ධයකදී කාටවත් ලැජ්ජාවක් නැති බව. මේ ප්‍රකාශනයෙන්ම ඒ පාලනයේ දැඩි කෲරත්වය පෙන්නුම් කෙරෙනවා. 💔

මුලින් සඳහන් කලා වගේ අළු යට ගිණි තිබුනාක් වගේ මේ සෝවියට් ආක්‍රමණය අවසන් වෙලා සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටුණයින් පසුව ඇෆ්ගනිස්තානය ඇතුලේ ඇතිවන අස්ථාවරත්වය එක්ක තලෙයිබාන්වරු පාලනය තමන් යටතට ගන්න සමත් වෙනවා……

ඉතින් මම කිව්වා වගේම මේක හැඟීම් සමඟ හරඹ කරන කතාවක්. මේකේ ඉන්න ළමයි දෙදෙනාගේ යාළුකමට හරස් වෙන්නෙත් මේ එකිනෙක ජාතීන් අතර තිබෙන අසමගිය. මේ පශ්තුන්වරුන් හසාරාවරුන්ට සලකන ආකාරයේ කෲර බව අපිට මනාවට පෙන්නුම් කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න, අපිටත් වුනේ මේ වගෙ දෙයක් නෙමයිද?🤔

ත්‍රස්තවාදය බිහිවෙන්නේ සාමාන්‍ය සමාජය තුළින්මයි. අපේ රටේ පවා තිස් අවුරුදු යුද්ධයට හේතුව වුනෙත් මේ අපි අපිම තමයි නේද? ඒ සියල්ලටම හේතුව හැමදේකම මුලට ගියාම හම්බවේවි. ඒ කතාව එහෙමම තියලා අපි චිත්‍රපටය දිහාවට හැරුණොත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වෙන අමීර් සහ හසාන් හොඳම යාලුවන් දෙන්නෙක්. අමීර් කියන්නේ ධනවත් පශ්තුන්වරයෙක්ගේ පුතෙක්. ඉතින් එයාගෙ හොඳම යාලුවා වෙන්නේ ඒ නිවසෙම හසාරා මෙහෙකාරියකගේ පුතා වෙන හසාන්.

පුංචි ළමයි මල් වගේ. ඔවුන්‍ට කවදාවත් ජාතිය, ආගම, කුලය වැඩක් නෑ. ලොකු වුනු, වැඩිච්ච මිනිස්සු වෙන්න වෙන්න සමාජය තුළින්ම ඔවුනට එය කාවැදෙන්න ගන්නවා. ඒ පුංචි ළමයි එයාලගේ ලෝකෙ ලස්සනට ජීවත් වෙනවා.

මේ ලිපිය ලියන මටත් පුංචි කාලේ ඉදලම මගේ පරිසරය වටේම සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි හැම යාලුවෙක්ම හිටියා. ඒත් ඒ හැමෝම දැන් ලොකු වැඩිහිටියෝ. මම වගේම ඒ අයත් තම තමන්ගේ රාජකාරි එක්ක හිර වෙලා. ඒත් අදටත් කොච්චර වැඩ රාජකාරි තිබ්බත් ඉරිදා හවසක, පෝය දවසක හවසක, වැඩ නැති වෙලාවක ඒ හැමෝම සෙට් වෙලා හොඳට කයියක් ගහගෙන ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි ගහල සාමදානයෙන් සතුටෙන් එකාවගේ ඉන්නවා. ඒ තමයි අපි. අපි කවදාවත් ජාතියක්, ආගමක් ගැන සලකලා බලන්නේ නෑ.🤗 ඒ අපි පුංචි කාලේ ඉඳන්ම හැදුණු පරිසරය. මම හිතනවා මම ඒ අතින් මේ පුංචි ඇෆ්ගන් දරුවෝ වගේ නොවුන එක වාසනාවක් කියලා.😌💕

මේ කතාවේ ඉන්න දරුවො දෙන්නා වෙන් වෙන්නේ මේ ජාතින් අතර බෙදීම නිසා. ඔවුන්ගේ හිත්වල ඇතිකරවන ජාත්‍යාලය කියල පැලකරවන විශබීජය නිසා. මේ ජාත්‍යාලය, ජාතිකත්වය, ආගමිකත්වය කියන වචන අපිට නරකක් මිස හොඳක් නම් කරන්නේ නැති බව අපිට මේ පුංචි කතාව තුළින් තේරුම් කරවනවා. 😒

මේ වෙන්වීම තුළ ඇමෙරිකාවට යන අමීර් අවසානයේ ප්‍රසිද්ධ ලේඛයෙකු වෙනවා. ඒත් හසාන්ට වෙන්නේ මොකක්ද? ඒ ගැන දැනගැන්න මේ මූවි එක බලන්න. ඊට පස්සේ ඒ දෙදෙනාගෙ මතකය ආපහු ගෙනයන්නේ කොතනටද? සරුංගල මතකය පාවෙන්නේ කොහෙටද? මේ සියල්ලටම උත්තර ඔයාට ෆිල්ම් එකෙන් අන්තිමට ලැබෙයි.

ඒ වගේම මෙහිදි අන්තිමට අමීර්ට ලැබෙනවා ඔහු වෙනුවෙන් හසාන් ඔහුට ලියපු ලිපියක්✉️. ඇත්තටම ඒ ලියුම කියවන මොහොත ඉතාමත් සංවේදී තැනක් විදියට මම හිතනවා. සුන්දර මතකයත් එක්ක අමිහිරි වේදනාවන් ඉතුරු කරලා ඒ ලියුමේ අන්තර්ගතය අවසන් වෙනවා. 🥺

ඒ වගේම හැදී වැඩුණු අමීර් 2000 වර්ෂයේදී ඇෆ්ගනිස්තානයට ආපහු යද්දි ඔහුට 70 දශකයේ සහ දැන් එහි වෙනස හොඳින්ම පෙනී යනවා. එතනදී ඔහුගේ driver කියන වචන පෙළක් මගේ හිතට තදින්ම දැනුනා. ඒ තමයි “You were always a tourist.”. ඇයි එහෙම ඔහු කිව්වේ. මොකද පශ්තුන් ධනවත් පවුලක් වුනු ඔවුන් ඒ සමාජීය ප්‍රශ්නයෙන් එළිපිට සිටි නිසා😶…..

මේ ඇෆ්ගනිස්තානය ගැන තිබ්බ මූවීස් විශාල ගණනින් එකක් පමණයි. The Kite Runner පුංචි ළමයින්ගේ සරුංගලයක ඉඳන් අපිට බෙඳීම, යුද්ධය ගැන පණිවිඩ ගණනාවක් දීලා අවසන් වෙන්නේ. ඉතින් මේ කොච්චර චිත්‍රපට තිබ්බත් අපිට ඒ අමිහිරි බව ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒ චිත්‍රපට නිර්මාණය කරන්නාට සාපෙක්ෂයි. ඒ නිසා ඒ තුළින් ගතයුත්ත අරගෙන එයින් නික්මෙන්න. මොකද අපිටත් ඒ ගැන හොඳට දශක තුනක් තිස්සේ තිබුණු අත්දැකීම් හොඳටම ඇති. තවත් ඒ වගේ ඇෆ්ගනිස්තානයක් මෙහි අවශ්‍ය නෑ.

මේ ගැන සඳහන් කරද්දි කියන්න ඕන තව දෙයක් තමයි ඇෆ්ගන් ඉතිහාසය හා රාජ්‍යතාන්ත්‍රික දේවල් දැනගන්න කැමතියි නම් ඒ පිළිබඳ විශාල දැනුමක් තියෙන Chamara සහෝදරයාව follow කරන්න. මොකද ඔහු අපේ පරම්පරාවේ මේ දේවල් පිළිබඳව මහා දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක්.මමත් ඔහු නිසා දැනගත්ත දේවල් බොහෝමයි. ඒ වගේම ළඟදි දවසක clubhouse අවකාශයේ පා. ම. චම්පික රණවක සමඟ තිබ්බ ඇෆ්ගනිස්තානය පිළිබඳ session එකකදී පවා මේ ෆිල්ම් එක ගැන සඳහන් වුණා.

අවසානයේදී කියන්න තියෙන්නේ බෙදී වෙන්වන ආගමිකයාට වඩා නොබෙදී සහයෝගයෙන් ඉන්න නිරාගමිකයා වටිනා බවයි.

ජීවිතයත් හරියට නූලෙන් ගිලිහුණ සරුංගලයක් වගේ. ඒක කොයි දිශාවට, කොයි මොහොතේ යයිද කියලා කාටවත් තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න පුලුවන් එහි පාලනය තියෙන ඔයාටම විතරයි. ඒකේ වටිනාකම තියෙන්නෙත් ඔයාගෙ අතේම තමයි. ඉතින් තීරණය කරන්න….. සරුංගලය උඩට යනවද? පහළට කඩා හැලෙනවද කියලා? තීරණය ඔයාට භාරයි.❤️🤗 එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

‘Till then, Stay Safe, Stay Hype.❤️✨

Leave a Reply