You are currently viewing Batman Vs. Superman කියන තරම් අවුල්ද?

Batman Vs. Superman කියන තරම් අවුල්ද?

කොහොමද, Hype Zone යාළුවනේ? අද ලිපියෙ නම දකිද්දිම දන්නවනේ මොකක් ගැනද මේ කතා කරන්න හදන්නෙ කියලා.❤ ඉතිං මම දන්නෑ බහුතරයක් දෙනා මේ වෙලාවේ මේ මතෘකාව ගැන කතා කරනට කැමති ඇතිද කියලා. කාලයත් එක්කම එන දහස් ගාණක් ෆිල්ම් සහ සීරිස් හුඟක් අපේ මතකයෙන් මැකිල ගියාට ඒවගෙන් බොහොම සුලුතරයි අපේ මතකයේ හැමවෙලේම රැඳෙන්නේ. මේ මතක හිටින චිත්‍රපට හුඟක් ඒවා ප්‍රේක්ෂකයින්ගෙ ආදරය නිසා මතකයේ රැඳුනට තවත් සමහරක් ඒවා මතකයේ රැඳෙන්නේ ඒවට එන සෘණාත්මක ප්‍රතිචාර නැත්තන් දන්න විදිහට කිවුවොත් hate නිසා. එතකොට අද මේ කතා කරන චිත්‍රපටය hate එක නිසා මතකයේ රැඳුනු එකක්ද? මේකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. “ඔව් සහ නෑ”. ඒ කිවුවේ? ඇත්තටම Batman Vs. Superman: Dawn Of Justice aka. BvS කියන්නේ උඩ කියපු දෙවර්ගයම නිසා මතක හිටින චිත්‍රපටයක්.

ඩොලර් මිලියන 872.7 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයපු චිත්‍රපටයක්.🔥 තව කිවුවොත් DC Extended Universe එකේ ප්‍රධානම story arc එකක් වෙන Superman Trilogy එකේ දෙවෙනි දිගහැරුම. Man Of Steel සහ (Zach Snyder’s) Justice League චිත්‍රපට දෙක එකකට එකක් සම්බන්ද කරන පාලම.❤

ඉතිං මේ ඔක්කොටම වඩා මේ චිත්‍රපටය මෙච්චර කතා බහට ලක් වෙන්න හේතුව තමා මේ චිත්‍රපටය ලැබුණු 50-50 ක් වගේ ප්‍රේක්ෂක ප්‍රචිචාරය. හුඟක් ෆෑන්ස්ලා මේ චිත්‍රපටය ආදරයෙන් වැලඳගන්නවා වගේම BvS කියන්නේ එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම කොමික් චිත්‍රපටය සහ masterpiece එකක් විදිහටත් සලකනවා. තවත් පිරිසක් BvS එකට හුඟක් සෘණාත්මක ප්‍රතිචාර දක්වනවා. ඇත්තම මේ සෘණාත්මක ප්‍රතිචාර ලැබෙන්න එක හේතුවක් තමා ෆිල්ම් එකේ තිබුණ “Save Martha” සීන් එක. ඉතිං ඇත්තටම BvS කියන්නේ කියන තරම් නරක චිත්‍රපටයක්ද? නැත්තම් මාස්ටර්පීස් එකක්ද? නැත්තන් average නිර්මාණයක්ද? අද මම මේ කරුණු කතා කරන්න යන්නේ BvS ගැනයි.❤

ඉතිං අද ලිපිය පටන් ගන්න කලින්ම මම මතක් කරනවා මේ ලිපියෙ තියෙන හැම කරුණක්ම මගේ පෞද්ගලික මතය විතරයි.😊 ඔයාට ෆෑන් කෙනෙක් විදිහට ෆිල්ම් එකට ආදරය කරන්නත් hate කරන්නත් සම්පූර්ණ අයිතියක් තියෙනවා. මේක මම ෆිල්ම් එක හිතන ගැන විදිහ පමණයි.

BvS කියන්නේ දැනට ආපු DCEU චිත්‍රපට අතරින් දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටයයි.🔥 හොඳ හයිප් එකක් එක්ක වගේම WB ළඟේ මාර්කටින් නිසා ෆිල්ම් එක වටේ එන්න කලින් ඉඳන්ම ෆෑන් බේස් එකක් නිර්මාණය වුණා.😍

මේ ෆිල්ම් එක ආපු කාලය ගත්තොත් ඩිස්නී යටතේ නිර්මාණය වෙන Marvel Cinematic Universe එකේ හුඟක් සිනමාපට හොඳ සාර්ථක ආදයම් වාර්ථා තබමින් හිටපු කාලයක්. ඉතිං WB ලටත් ඕන වුණා මේ වගේ හොඳ පුළුල් සිනමා විශ්වයක් ආරම්භ කරන්න. ඒකට WB ගාව තිබුණු හොඳම තුරුම්පුව තමා DC. DC කියන්නේ MCU එකට කලින් ඉඳන්ම හුඟක් සාර්ථක චිත්‍රපට නිර්මාණය වුණු තැනක්. නෝලන් මහත්මායගේ The Dark Knight ත්‍රිත්වය ඇතුලු චිත්‍රපටවලින් ඉතා ඉහළ ආදායමක් උපයන්න සමත් වුනු තැනක්.🔥 හැබැයි 2013 Man Of Steel චිත්‍රපටය එන්න කලින් ආපු කිසිම චිත්‍රපටය මාලාවක් එක් විශේෂ universe එකක් යටතේ, එක් ලොකු කතාවක කොටස් වශයෙන් නිර්මාණය වුනු ඒවා නෙවෙයි. මේවා එකිනෙකට වෙනස් විදිහකට නිර්මාණය වුනු වෙන වෙන චිත්‍රපට විදිහටයි පිලිගැනුනේ. ඉතිං WB ලටත් ඕන වුණා Marvel ලා වගේ එකකට එකක් චිත්‍රපට සම්බන්ඳ වෙනමම විශ්වයක් ආරම්භ කරන්න. ඉතිං මේ වැඩේට අධ්‍යක්ෂකවරයා විශිහට පදනම දමන්න WB ආයතනය විසින් තෝරාගත්තේ සැක් ස්නයිඩර් කියන හොඳ නම් දිනාගත්ත අධ්‍යක්ෂකවරයාව. සැක් කියන්නේ මේ වෙනකොටත් Watchmen කියන සම්හාව්‍යය ගණයේ කොමික් චිත්‍රපටයක් නිර්මාණක කරපු කෙනෙක්. ඇත්තටම කිවුවොත් Watchmen කියන්නේ masterpiece එකක්ම තමා. ඉතිං මේ වැඩේට ගැලපෙනම කෙනා සැක්ම තමා කියලා WB ලට නොහිතුණා නම් තමා පුදුමේ. ඉතිං ඔය විදිහට හොඳ විශන් එකක් එක්ක සැක් වැඩේ පටන් ගන්නවා. MoS චිත්‍රපටය ඉතා ඉහළ ආදායම් වාර්තා තබනවා. ඔන්න ඔය විදිහට තමා BvS චිත්‍රපටයට පාර කැපෙන්නේ.🔥

BvS රිලීස් වෙනවා. ආදායම අතින් නම් එච්චර ගැටලුවක් නෑ. නමුත් චිත්‍රපටයට නොහිතූ විදිහට සෘණාත්මක ප්‍රචිචාර ලැබෙන්න ගන්නවා.☹ Rotten Tomatoes වල චිත්‍රපට මහාචාර්යවරු එහෙම අඩු රේටින් එක්ක හිටු කියල විචාර ලියන්න පටන් ගන්නවා. IMDB එකෙත් ලැබෙන්නේ average රේටින් එකක්. ඊට පස්සේ WB ලා කියනවා අපි රිලීස් කලේ කෙටි පිටපතක්, අපි ගාව පැය තුනක් දිග තව පිටපතක් නැවත රිලීස් කරන්න තියෙනවා කියල. ඔන්න ඕකට තමයි ළමයි මාර්කටින් කියන්නේ.👀 මේකෙන්ම පේනවා WB ලට මුල ඉඳන්ම ඕන වුනේ ප්‍රේක්ෂකයාට ඕන දේ දෙන්න නෙවෙයි, DC එකෙන් හොඳ ගාණක් හම්බ කරගන්න කියලා.😈 මෙන්න මේකත් BvS වලට සෘණාත්මක ප්‍රතිචාර ලැබෙන්න හේතුවක් වුණා.😐

තාමත් කතා බහට ලක් වෙන Nightmare සීන් එක. මේකෙදි ඩාර්ක්සයිඩ්ගේ ඔබේගා සංඛේතයට දැකගන්න පුලුවන්

BvS කියන්නේ මේ කාලෙ ට්‍රෙන්ඩ් එකක් වුන අනිත් කොමික් චිත්‍රපටවලට වඩා සෑහෙන වෙනස් කතාවක් තිබුණ චිත්‍රපටයක්.😍 ඉතිං මේ කාලෙම වගේ ආපු Civil War එකත් එක්ක බලද්දී ආසයි පොළොවයි වගේ වුන නිර්මාණයක්. මට හිතෙන විදිහට මෙච්චර නරක ප්‍රතිචාර ලැබෙන්න ලොකුම හේතුව තමා සැක් එක පාරම දුන්නු මේ වෙනස.😐 ඒක සැක්ගෙවත්, ප්‍රේක්ෂකයින්ගෙ වැරැද්ද්වත් කියන්න බෑ. ඒක ඒ කාලෙ තිබුණු ට්‍රෙන්ඩ් එකේ අවුලක්. මාර්වල් ෆිල්ම් එකක තියෙන පාට පාට කලර් ග්‍රේඩින් එකට හාත් පසින්ම වෙනස් අඳුරු පාට කලර් ග්‍රේඩින් එකක් එක්ක ෆිල්ම් එක ඇවිත් තිබුණා. ඔන්න ඔහොම තමා 2010 ගණන්වල කොමික් සිනමාව තුළ ඩාර්ක් ටෝන් එක කියන සංකල්පය ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. ඇත්තටම කිවුවොත් ඩාර්ක් ටෝන් එකක් තිබුණු පළවෙනි සුපර්හීරෝ ෆිල්ම් එක BvS නොවුනට ඒ concept එක ගැන වෙනදට වඩා විශාල ප්‍රමාණයක් මිනිස්සු කතා කරන්න ගත්තේ BvS නිසා. ❤ ඇත්තටම ඩාර්ක් ටෝන් එක කියන්නේ කලර්වලට විතරක්මත් නෙවේ. චරිතවල තියෙන අනපේක්ෂිත අඳුරු හැසිරීම් රටා, ප්‍රචණ්ඩකාරි දේවල් පිරුණු ප්ලොට් එක වගේ හැම දෙයක්ම ඩාර්ක් ටෝන් එකට අයිතිවෙනවා.✅

ආයෙත් කතාවට ආවොත් කොමික් බුක් මූවි එකක්, විශේෂයෙන්ම ඔය කාලෙ ආපු සුපර්හීරෝ ෆිල්ම් එකක් මනුස්සෙක් බලන්න යන්නේ හිතේ තියෙන ප්‍රශ්න අමතක කරලා පැය දෙක තුනකට ටිකක් relax වෙන්න, ටිකක් entertain වෙන්න, පවුලෙ අය එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න, ඇත්ත ජීවිතෙත් තමන්ට හම්බෙන තමන් ආස නැති විදිහේ නරල චරිතවලට වීරයො ටික එකතු වෙලා හොඳට නෙලනව බලන් ඉඳලා අහිංසක සතුටක් ලබන්න, තමන් කැමති චරිත එක්ක ෆැන්ටැසි ලෝකෙක ආසාවෙන් අතරමන් වෙන්නනේ. මේ කියන දේවල් ඔක්කොම ඉල්ලනවටත් වැඩියෙන් මාර්වල්ලා ප්‍රේක්ෂකයින්ට හරිම ආදරයෙන් ලබා දුන්නා.❤ ඒ හින්ඳම තමා MCU එක හැමෝගෙම හිත් තුළ සදාකාලෙටම මතක හිටින්න තරම් ආදරයක් ලබාගත්තේ. ඒත් BvS එක දුන්නේ ප්‍රේක්ෂකයාට ඕන වුණු දේවල්වල අනිත් පැත්ත. BvS ටාර්ගට් කළේ උඩ තියෙන දේවල්වලට හාත්පසින්ම වෙනස් දෙයක් ඕන වුණු ෆෑන්බේස් එකක්. මාර්වල්ලා ඒම් කරනවට වඩා මෝරපු, ඩාර්ක් ගතියක් පිපාසයක් තිබුණු, හොඳ ඩීප් ස්ටෝරි එකක් ඕන වුනූ ෆෑන්බේස් එකක් තමා BvS එකෙන් සැක්ට ඒම් කරන්න ඕන වුණේ. ❤ ඉතිං වෙනද මාර්වල් ෆිල්ම් එකක් බලල ඔලුව නිදහස් කරගන්න යන ප්‍රේක්ෂකයින්ට BvS බලපුවම මේ මොන මගුලක්ද මේ කියල කියවෙන්න ඇති.😶

සුපර්මෑන් ගැන මිනිසුන්ට ඇති බලපොරොත්තුව නිර්මාණාත්මකව චිත්‍රපටය දක්වන තැනක්

සැක්ටත් BvS එකෙන් කරන්න ඕන වුණේ 2004 නෝලන්ට ඩාර්ක් නයිට්ගෙන් කරන්න ඕන වුනු දේමයි.🔥 සැක් කලෙත් නෝලන් කරපු විදිහටම සමානව අපේ ආසම සුපිරිවීරයෝ දෙන්නෙක් අරන් ඒ දෙන්නව අපි ජීවත් වෙන කුරිරු සමාජයට හුඟක් සමාන තැනකට දාලා එකාට එකා විරුද්ධව සටන් කරවපු එකයි. සැක්ට දෙන්න ඕන වුනේ සුපිරිවීරයෝ නෙවේ මොන යකා හිටියත් සමාජෙ කියන තැන වෙනස් කරන්න බෑ කියන එකයි. අන්න ඒ දේ හොඳටම පෙන්නපු තැනක් තමා අච්චර මිනිස්සු වෙනුවෙන් සටන් කරපු සුපර්මෑන් වගේ චරිතයක් වුනත් ලෙක්ස් ලූතර් වගේ කුහක ගති තියෙන ජම්මාන්තර වෛරක්කාරයෝ ඇතිවෙන තැන. සැක් කරපු ලොකුම දේ තමා තමන් පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කරපු චරිත දෙකෙන් කවුද හරි කවුද වැරැදි කියල හිතන්න ප්‍රේක්ෂකයාව පත් කරපු එක. ඒ නිසා බලන කෙනා බැට්මෑන්ද, නැත්තන් සුපර්මෑන්ද කියල conflict එකකට/ අරගලයක් මැදට පත් වෙනවා. මේ conflict එකේ පීක් එක තමා බැට්මෑන් vs සුපර්මෑන් ෆයිට් එක. මෙතනදි තමා ප්‍රේක්ෂකයා පැය දෙකකට වඩා කාලයක් බලන් හිටිය ඒ මහා සටන සිද්ද වෙන්නේ. සැක්ට අනුව දෙවියන්ට එරෙහිව මනුස්සයෙක් අභියෝග කරන්නෙ මෙතනදී.

නමුත් මෙතනදි ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු සුන් වෙන දේවල් කිහිපයක් සිද්ද වෙනවා. එකක් තමා සම්පූර්ණ ෆයිට් සීන් එකෙන් භාකයක්ම ට්‍රේලර් එකෙනුත් පෙන්වීම. (එහෙම වුන්නෑ කියල හිතෙනව නම් ටිකක් ආපු ට්‍රේලර් සෙට් එකයි ෆිල්ම් එකේ බැට්ල් සීන් එකයි පොඩ්ඩක් බලන්න. ඔයාටම තේරෙයි හුඟක් දේවල් ට්‍රේලර් එකෙනුත් පෙන්වල තියෙනව කියලා) මේ නිසා බලන කෙනාට අළුත් දෙයක් ලැබුන්නෑ වගේ හැඟීමක් ඇති වෙනවා. අනික දේ තමා හුඟක් හෑල්ලුවට වගේම අප්‍රසාදයටත් ලක් වුණු “Save Martha” සීන් එක. මේ සීන් එක කොච්චර විහිළුවක් වුනාද කිවුවොත් තාම මේකට මීම් හැදෙනවා. මේ ටයිප් එකේම “vs” කෑල්ල එක්ක වෙන ෆිල්ම් එකක් හැදූනොත් “Save Martha” කෑල්ල අනිවාරෙන්ම කතා බහට ලක් වෙලා මීම් දෙතුන් සීයක් හැදෙනවම තමා.👀 අනිත් ෆිල්ම්වලට free marketing පැත්තකුත් බලන් ගියාම BvS එකෙන් නිකන්ම හදලා.

ඇත්තටම මේ “Save Martha” කෑල්ල කියන තරම් ගොන්ද?

ඔයා හරියට ෆිල්ම් එක බලපු කෙනෙක් නම් ෆිල්ම් එක පුරාම ඇඟට නොදැනෙන්න පෙන්නන දෙයක් තමා බැට්මෑන්/ බෲස් වේන් කියන්නේ කොච්චර දේවල්වලට මුහුණ දුන්නත් තමන්ගේ දෙමවුපියන්ගේ අහිමිවීම නිසා තාමත් දුක් විඳින කෙනෙක් කියන එක. තමන් පොඩි ළමයෙක් කාලේ ඒ වීදි කොනේදි තමන්ගෙ ඇස් ඉස්සරහම තමන්ට ලෝකෙ හිටපු කිට්ටුම පුද්ගලයින් දෙන්නා අහිමි වෙනවා. මෙතනදි මේ පොඩි ළමයා කිසිම උදවුවක් නැති අසරණ කමට පත් වෙනවා. කොච්චර බල පුලුවන්කාරකම් තිබුණු කෙනෙක්ගෙ ළමයෙක් වුනත් මේ තප්පර ගාණකින් වුනු සිද්දිය නිසා ලෝකෙ ඉන්න අසරණම පුද්ගලයා බවට පත්වෙනවා. මේ තමා බෲස්ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය. මෙතනදි තමා බෲස් වේන් මියගිහින් බැට්මෑන් ඉපදෙන්නේ. මේ සිදුවීම මැදි වියේදිත් නරක හීනයක් විදිහට බෲස් පස්සෙන් පන්නනවා. ඊට පස්සෙ එනව සුපර්මෑන්. දැනට දන්න විදිහට ඒ ලෝකයෙ හිටපු බලවත්ම ජීවියා.🔥 සාමාන්‍ය ජනතාවට දෙවියෙක් හා සමාන කෙනෙක්.❤ ඒත් ඒ දෙවියා මේ පාර කෝප ගස්සන්නේ සාමාන්‍ය මිනිහෙක්ව. සාමාන්‍ය මිනිස්සු දෙවියෙක් දැක්කට බැට්මෑන් දකින්න තමන්ගෙ උවමනාවන් පමණක් තකන, අනිත් උන්ට මොනව වුනත් කමක් නැති අධිපතියෙක්. බැට්මෑන්ට මේක හොඳටම තේරෙන්නේ සුපර්මෑන් සහ ජෙන්රාල් සොඩ් අතර වෙන සටනින් තමන්ගේම ගොඩනැගිල්ලක මිනිසුන් සුපර්මෑන් දන්නෙවත් නැතුව මිය යාමෙන්. ඔන්න ඔය විදිහට තමා මේ සාමාන්‍ය මනුස්සයා දෙවියට එරෙහි වෙන්න තීරණය කරන්නේ. ඇත්තටම බැට්මෑන්ට සුපර්මෑන් ගැන මෙච්චර තරහක් තියෙන්න හේතුව උඩ කාරණේ විතරක්ම නෙවේ. මං දැකපු විදිහට බැට්මෑන්ට ලොකු පහත් බවක් දැනෙන්න ඇති තමන්ගෙ වර්ගයා පිටස්තරයෙක් මත යැපෙන එකට. බැට්මෑන්ට පෙන්වන්න ඕන වෙනවා මිනිස්සු තරම්ම දෙවියන්ටත් බය දැනෙනවා කියලා. ඒ නිසා තමා ක්‍රිප්ටොනයිට් ගෑස්වලින් සුපර්මෑන්ට පහර දුන්නට පස්සේ බැට්මෑන් “Breathe it in. That’s Fear” කියන්නේ.🔥 මේකෙන් බැට්මෑන්ට මනුස්සයෙක්ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියන හැඟීම් විඳගන්න අවශ්‍යය වෙනවා. බැට්මෑන් ක්‍රිප්ටොනයිට්වලින් සුපර්මෑන්ව මරනාසන්න වෙන තරමට දුර්වල කරනවා. සුපර්මෑන් බිම වැටුනට පස්සේ, බැට්මෑන් ක්‍රිප්ටොනයිට් සහිත ඒ හෙල්ලයෙන් දෙවියන් ඝාතනය ඔන්න මෙන්න තියෙද්දී, ඒ උච්ඡතම අවස්තාවේදි වචන දෙකයි සුපර්මෑන්ගෙ කටින් පිටවෙන්නේ. “Save Martha!” ඒ වචන දෙකෙන් ඒ මහා සටන අවසන් වෙනවා.

BvS තුළින් Wonder Woman චරිතය DCEU වෙත රැගෙන ඒම ඉතාමත් හොඳ තීරණයක් කියලා කියන්න පුලුවන්

ඔච්චර දැවැන්ත සටනක්, බැට්මෑන් සහ සුපර්මෑන්, මිනිසාට එරෙහිව දෙවියා, ඒ වගේ සටනක් වචන දෙකකින් අවසන් වෙන එක තේරුමක් නෑ වගේ හිතෙන්නේ. ඒත් මං ආයෙත් අහන්නම් “අවදානයෙන් බැලුවද?”

තමන් පොඩි කාලේ, තමන්ගේ ඇස් දෙක ඉස්සරහ තමන්ගෙ අම්මයි තාත්තයි මැරෙනකොට දැනුන ඒ හැඟීම, ඒ බියගුළු කම, ඒ අසරණ කම බෘස්ව බැට්මෑන් බවට පත් කළා. එතකොට බැට්මෑන් සටන අවසන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි සුපර්මෑන් දිහා බලනකොට සුපර්මෑන්ගෙ ඇස් දෙකෙන් දකින්න ඇත්තෙ මොනවද? ඒත් තමන් ඉස්සරහ ජීවිතය වෙනුවෙන් සටන් කරන අසරණ කෙනෙක් නේද? ඉතිං එතනදි බෲස්ට මතක් වෙන්නෙත් තමන් ඒ පොඩි කාලෙදි හිටපු තත්ත්වයමයි. මෙතනදි බෲස් සුපර්මෑන් තුළින් දකින්නෙත් ඒ රෑ සිදුවීම වෙනකොට හිටපු තමන්වමයි. ඉතිං ඒ හැඟීම තමන්ගේ උවමනාව පරදවලා ඉස්සරහට එන්නේ සුපර්මෑන්/ක්ලාර්ක් විසින් මාර්තා කියන නම කියනවත් එක්කමයි. ඉතිං මෙතනදි බැට්මෑන් තුළ සුපර්මෑන් එක්ක ඉන්න අරගලයට වඩා තමන්ගේ අම්මගේ මරණය එක්ක හිතින් තියෙන අරගලය ඉස්මතුවෙනවා. අනික බැට්මෑන් සුපර්මෑන් ගැනත් රාක්ෂයෙක් ගාණට දාලා හිතන් හිටියට මාර්තා කියන නම ගාව ගත්තම බැට්මෑන්ට හිතට එන දෙයක් තමා රාක්ෂයෙක් වුණත් මරණාසන්න මොහොතකදී තමන් ගැන හිතන කෙනෙක්ව ආරක්ෂා කරන්න ජීවිතය වුනත් පරදුවට තියනවා කියලා. මේ හැඟීමත් බැට්මෑන්ට එන්නේ “මාර්තා” කියන නම නිසාමයි. තමන්ට මාර්තා කෙනෙක් කිට්ටුයි වගේම තමන්ගෙ හතුරගේ ජීවිතය තුළත් එහෙම කෙනෙක් ඉන්නව කියන දේ නිසා ඒ කවුද කියල දැනගන්න බැට්මෑන්ට හිතෙනවා. මෙතනදි වගකීම් පරද්දලා හැඟීම් උඩට එන එක හරි ලස්සනට පෙන්වනවා. ඔය කරුණු නිසා තමා සුපර්මෑන්ට හෙල්ලෙන් අනින එක පැත්තකින් තියලා “උබ ඇයි ඒ නම කිවුවේ” කියන එක අහන්න බැට්මෑන් කටයුතු කරන්නේ.

මෙතනදි හුඟක් අයට එන තව එක ප්‍රශ්නයක් තමා ඇයි ක්ලාර්ක් “මගේ අම්මා” කියනවා වෙනුවට “මාර්තා” කියන නමම යොදාගන්නෙ කියන එක. මෙතනදි සුපර්මෑන්ටත් පැහැදිලිව පේන දෙයක් තමා බැට්මෑන් තමන් ගැන් රාක්ෂයෙක් විදිහට ගාණට දාලා හිතන විදිහටම තමගෙ අම්මා ගැනත් එහෙමයි හිතන්නෙ කියන එක. ඒ නිසා සුපර්මෑන්ට දැනගන්න දෙන්න ඕන වෙන්නෙ ඇති තමන්ගෙ අම්මත් සමාන්‍ය මනුස්සයෙක් කියන එක. නැත්තන් “අම්මා” කිවුවම බැට්මෑන්ගේ හිතෙත් මැවෙන්නේ ඒලියන් කෙනෙක් නිසා. අනික මාර්තා කියන නමින් බැට්මෑන්ට ක්ලාර්ක්ගේ අම්මව හොයාගන්න ලේසියි කියන එක ක්ලාර්ක්ට වැටහුනු නිසා. ඒත් ක්ලාර්ක් නොහිතපු විදිහට බැට්මෑන්ටත් මාර්තා කියන නම හුඟක් විශේෂයි.

ඔයාලට මතක ඇති මම කිවුවා ප්‍රේක්ෂකයා BvS බලනකොට හුඟක් හිතන්නේ තමන් මොන පැත්තද ගන්නෙ කියන එක. ඕන ෆිල්ම් එකක්, සීරීස් එකක් බලද්දී අනිවාරෙන් අපේ හිත් ඇතුලේ “conflict” එකක්/ අරගලයක් මැවෙනවා.🔥 මේ අරගලය නිසා තමා අපිව ඒ නිර්මාණය තුළට ඇඳ බැඳගෙන තියාගන්නේ. BvS එකේදි මේ අරගලය තමා “බැට්මෑන්ද නැත්තන් සුපර්මෑන්ද” කියන එක. අපි ෆිල්ම් එක බලනකොට බලාගෙනම ඉන්නෙ අන්තිමේදි දිනන්නේ බැට්මෑන්ද සුපර්මෑන්ද කියන එක. ඒත් මේ conflict එක නිසාම අපිට මගහැරුනු දේවල් තියෙනවා. ඒ මගහැරුනු දේවල් බහුතරයක එකතුවක් තමා “Save Martha” සීන් එකත්. මම උඩ සඳහන් කරපු හැම දෙයක්ම වගේ මිස් වෙන්නත්, බැට්ල් සීන් එක ලොකු disappointment එකක් වෙන්නත් ලොකුම හේතුව තමා අපි ඒ සීන් එක බලාපොරොත්තු නොවීම් සහ ඒ සීන් එක මුල ඉඳන් build up කළා කියන නිගමනයට එන්න අවශ්‍යය හැම fact එකක්ම අර conflict එක නිසා මගහැරගැනීම.😐 ඒ වගේම තව තැනක් තමා අපි “Batman Vs Superman” කියන කොටස ඔලුවට අරන් “Dawn Of Justice” කියන තැන මිස් කරගත්ත එක. ඔය කාරනේ නිසාම තමා අපිට Batman Vs. Superman බැට්ල් සීන් එක මදියි කියල හැඟීමක් ඇතිවෙන්නේ.

BvS ෆිල්ම් එක ඇතුලෙ තියෙන්නේ කායික/භෞතික ගට්ටනයකට වඩා මානසික සහ සමාජීය ගට්ටනයක්. සුපර්මෑන් කියන්නේ අවශ්‍යය කෙනෙක්ද, නැද්ද හතුරෙක්ද වීරයෙක්ද කියන මානසික ගට්ටන එක්ක තමා කතාව ගලාගෙන යන්නේ. ඒ නිසා තමා මුලදි ඟක් ඇක්ශන් සීන් අඩුවෙලා අන්තිම හරියෙද පැයකට වඩා දිග ඇක්ශන් සීක්වන් දකින්න ලැබෙන්නේ. මොකද මේ මානසික ගට්ටනය එක්ක තමා භෞතික ගට්ටනයක්, දන්න විදිහට කිවුවොත් ඇක්ශන් සීන් එකක් හැදෙන්නේ. මේ වගේ දෙයක් 2016 වගේ අවුරුද්දක එන සුපර්හීරෝ ෆිල්ම් එක්කට හුඟක් අළුත් සංකල්පයක්. විශේෂයෙන්ම Civil War ෆිල්ම් එකෙත් මේ දේ ලාවට ගෑවිල තිබුනට ෆිල්ම් එක ඇතුලෙ තිබුණු ඇක්ශන් සීන් නිසා මේ දේ වැඩිය දැනුනෙ නැහැ.

තව කාරණයක් තමා ෆිල්ම් එකේ ප්‍රධාන චරිතවලින් solo film එකක ඇවිත් තිබුනේ සුපර්මෑන්ට විතරයි. අඩුම ගාණේ බැට්මෑන්ටවත් solo film එකක දීලා ඊට පස්සේ BvS එක කළා නම් මීට වඩා හොඳ ප්‍රතිචාර ගන්න තිබුණා. Solo film එක්ක අඩුව නිසාම තමා එක පාරම ප්ලොට් අහසින් කඩන් වැටුණ වගේ දැනෙන්නෙත්, DCEU එකේ බැට්මෑන් ප්‍රචණ්ඩකාරී වැඩි කොහොමද වගේ ප්‍රශ්න ෆෑන්බේස් එක පැත්තෙන් අහන්න ගත්තෙත්. මොකද එක ෆිල්ම් එකක් බලලා චරිත ගැන අවබ්බෝදයක් ගන්න අමාරුයි.

BvS එක ගැන කතා කරද්දී cinematography ගැන එහෙම කතා නොකර බෑ. බහුතරයක් සුපර්හීරෝ ෆිල්ම්වලට වඩා ඉතා ඉහළ මට්ටමේ කැමරාකරණයක්, වර්ණ භාවිතයක් තිබුන කියන එක පිලිගන්නම ඕන දෙයක්.🔥 මොකද දැන් එන සමහර ෆිල්ම්වල තියෙන්නේ ප්‍රධාන නිලියගේ ඇඟ පසඟ පෙන්වන එක විතරනේ.👀 ඒත් BvS එකේ පට්ටම ශොට් ටිකක් තිබුණා. උදාහරණ ටිකක් කිවුවොත් ක්ලාර්ක්ට කෙන්ස්ට් මහත්මයව මැවිල පෙනෙන තැන, warehouse බැට්ල් එක (මාර්තාව බැට්මෑන් බේරගන්න සීන් එක), සුපර්මෑන් ඩූම්ස්ඩේ එක්කම මිය යන සීන් එක, සුපර්මෑන්ගේ ශරීරය බැට්මෑන්ගෙ අතින් වොන්ඩර්වුමන්ගෙ අතට මාරුවෙන තැන වගේ හුඟක් නිර්මාණාත්මක ලස්සන සීන් ටිකක් බලාගන්න පුලුවන්.🔥 Color grading එකත් බැලූබැල්මට වෙනස් විදිහට පේන්න ඩාර්ක් ටෝන් එකක එක්ක නිර්මාණය කරලා තියෙනවා.🔥

ජීවිතයට ගන්න හුඟක් වටින quotes පිරුනූ ෆිල්ම් එකක්. අවදානෙන් බැලුව නම් Save Martha කියන එකට වඩා හුඟක් කතා බහට ලක්විය යුතු දෙබස් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බෲස් සහ් ඇල්ෆ්‍රඩ් අතර වෙන දෙබස්, ලෙක්ස් ලූතර් ඉන්න දෙබස් එහෙම අවදානෙන් ඇහුවා නම් හොයාගන්න පුලුවන්.🔥

ඇත්තටම BvS කියන්නේ මාස්ටර්පීස් එකක්ද? මං ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. ඒක සාපේක්ෂ දෙයක්. ෆිල්ම් එකක් මාස්ටර්පීස්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ෆිල්ම් එක්ක age-rating එකෙන්වත්, critics වලින්වත්, බජට් එකෙන් නැත්තන් බොක්ස් ඔෆීස් වලින්වත් නෙවේ. ඒක තීරණ වෙන්නේ ඔයාට ෆිල්ම් එක කොච්චර ෆීල් වෙනවද කියන එක මතයි. ඔයාගේ අත්දැකීම්, ඔයා හිතන විදිහ, ඔයාගේ point of view එක මත තමා මාස්ටපීස්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක ඔයාට බාර දෙයක්. ❤

ෆිල්ම් එක ගැන මගේ පෞද්ගලික මතය නම් BvS කියන්නේ එතෙක් මෙතෙක් බිහිවුණු නිර්මාණාත්මකම වෑයමක්.🔥 හොඳ කොලිටි කොමික් බේස්ඩ් ෆිල්ම් එකක්.🔥🔥 ෆිල්ම් එකට වුනු ලොකුම අසාදාරනයන් තමා අනවශ්‍යය විදිහට rush කිරීම, නොගැලපෙන කාලයක රිලීස් කිරීම සහ ස්ටූඩියෝ එකට හම්බකරන් කන්න තිබුණු උණ. BvS theatrical සහ extended cut කියල පිටපත් දෙකකට රිලීස් කළේ. theatrical කට් එක හෝල්වලට නිකුත් කළේ විනාඩි 30 කටත් වැඩි කාලයක සීන් කපලා. පස්සේ බ්ලූරේ විකුණගන්න නිවැරදි පිටපත නිකුත් කරද්දී ඕන තරම් haters ල ඇතිවෙලා අවසන්. මේ haters ලගෙ ලොකුම ආයුධය වුනේ “Save Martha.” ඉතිං දැන් Save Martha රැල්ලක් වී හමාරයි. ඉතිං මේ රැල්ලට අහුවුනාම ආයෙ ෆිල්ම් එක බලන්නෙත් Save Martha කෑල්ල ඔළුවෙ තියන්. ඒ නිසා තමා හුඟක් අය BvS එකට බොහෝ දුරට අකමැති වෙන්නේ. අළුතින් ආසාවෙන් මේක බලන්න ගන්න අයත් Save Martha රැල්ලට අහුවෙලා සෝශන් මීඩියාවල ෆිල්ම් එකට බනිනවා. ඉතිං හුඟක් අය BvS එකට ආසයි කියන්නත් බයයි. මොකද දැන් තියෙන රැල්ල විදිහට DC Marvel බෙදිලා අනිත් ෆෑන්බේස් එකේ අයව කොන් කරන නිසා. ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අනිත් කෙනාගෙ අදහස්වලටත් ගරු කරගෙන ෆිල්ම් එක රසවිඳින්න අපි හුරුවෙමු. ඉතිං ඒ වගේ හොඳ ටොක්සික් නැති කතා බහක් පටන් ගන්න ඔයා BvS ගැන හිතන දේ පහතින් කොමෙන්ට් කරන් යන්න.❤


තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype Zone Facebook page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ HypeZone YouTube channel එකට සෙට් වෙන්න: https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න: https://www.buymeacoffee.com/hypelk

ඒ විතරක් නෙවේ, අපේ අලුත්ම වැඩේ Hype Zone වෙබ් එක… සුපිරිම දේවල් සෙට් එකක්ම ඔයාලට වෙබ් එකෙන් ලැබෙනවා


෴෴ සුබ දවසක්…! ෴෴

Leave a Reply